Ratawata News
News web site

මෙරට අඳුරෙන් මිදීමට දෙවැනි කන්නංගර විප්ලවයක් රට ඉල්ලයි

0

අද ඔක්තෝබර් 13 කන්නන්ගර සමරු දිනයයි.

අප රටේ නූතන ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ඉදිරිගාමී සමාජ හා සංස්කෘතික පරිවර්තනයට පුරෝගාමී වූ ආචාර්ය සී. ඩබ්ලව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් උපත ලැබුවේ 1884 ඔක්තෝබර් මස අද වැනි දිනකය. කන්නන්ගර මැතිඳුන් පුරෝගාමී වූ එම මහා සමාජ පරිවර්තනය අධ්‍යාපනය මුල් කොට ගත් විප්ලවයකි. එය⁣ට අපි ‘නිදහස් අධ්‍යාපන විප්ලවය’ යැයි කියමු. එහෙත් එම විප්ලවයේ ප්‍රතිපල අධ්‍යාපනය ඉක්මවා ගිය යුගකාරක වෙනස්කම් රාශියකට මුල්විය.

නිර්ප්‍රභූ මිනිසකු ලෙස උපත ලබා නිර්ප්‍රභූ මිනිසකු ලෙසම 1969 සැප්තැම්බර් 29 දින අවසන් හුස්ම හෙලන තුරුම මේ යුග පුරුෂයා ගත කළේ මහා මානවවාදයෙන් පොහොසත් කරගත් අසිරිමත් ජීවිතයකි.

කන්නන්ගර මැතිඳුන් ගැන රවීන්ද්‍ර කන්නන්ගර තැබු සටහනක් මෙසේය. “මෙරට කිසිදු දේශපාලඥයෙකුට කන්නන්ගරට ඉහලින් සිටිය නොහැකිය. කිසිදු සමාජ සේවකයකුට කන්නන්ගරයන් අභිබවා යා නොහැකිය.” මම ඒ ප්‍රකාශය සමග එකඟ වෙමි.

ධන බලය, කුල බලය, පන්ති බලය, ප්‍රභූ බලය හමුවේ දීන වී, හප වී, චප්ප වී, කුදු ගැහී ගිය, අඳුරේ ගිලීගිය අප රටේ සාමාන්‍ය ජනයාට දැනුමේ, බුද්ධියේ පහන් සිළුව අතැතිව නැගී සිටීමේ මාවත විවෘත කර දුන්නේ කන්නන්ගර මැතිඳුන්ය. ඔහු ඉන්දියාවේ ඉපදුනේ නම් දේවත්වයෙහිලා සැළකෙන පුද්ගලයකු වන්නේ යැයි ඉන්දියානු තානාපතිවරයකු කළ ප්‍රකාශයට විශාල අර්ථයක් තිබෙි.

කන්නන්ගර තම අනන්‍යතාව ගොඩ නගා ගත්තේ අධ්‍යාපනය මුල්කරගෙනය. ලංකාවේ නූතන අධ්‍යාපනයේ අනන්‍යතාවද කන්නන්ගරගේ සමාජ දර්ශනය මුල් කරගනිමින් නිර්මාණය වූවකි.

1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙසත් අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් එතුමන් ඉතා දිගු කලක් ඉතා වෙහෙසකර, දෘඪ අරගලයක් අඛණ්ඩව ගෙන ගියේ අද අප රටක් ලෙස ඉහලින් භුක්ති විඳින නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට තහවුරු කිරීමටය.

මහනුවර ‘හන්දෙස්ස’ ග්‍රාමීය පාසැලෙන් පටන් ගත් ඔහුගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඊළඟ කඩඉම වූයේ 1943 මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය බිහිකිරීම සහ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වා දීමයි. 43 අපට වැදගත් වන සංකේතාත්මක සංඛ්‍යාවක් වන්නේ මේ ඓතිහාසික කරුණ මතය.

කන්නන්ගර මැතිඳුන් නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගත්තේ ධනය බලය හිමි මෙරට ප්‍රභූ පන්තිය එල්ල කළ දුෂ්ට කඩාකප්පල් කිරීම් හා විරෝධතා වලට මුහුණ දෙමින්ය. අවසානයේදී මෙම ප්‍රභූ පැලැන්තිය නිදහස් ලංකාවේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී කන්නන්ගරව පරාජය කිරීමට කටයුතු කළා පමණක් නොව එතුමන් හඳුන්වාදුන් නිදහස් අධ්‍යාපන පුනරුදය ආපස්සට හැරවීමටද වෙර දැරූහ.

නැවත 1952 දී පාර්ලිමේන්තුවට පත් වුවද එතුමාට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබා දුන්නේද නැත. එහෙත් කන්නන්ගර අධ්‍යාපන පුනරුදය ආපස්සට හැරවීමට එදා මෙදාතුර මතු වූ කිසිදු ජනහතුරකුට හැකි වුයේ නැත.

කන්නන්ගර විප්ලවය වනාහි සිදු කර අවසන් වූ විප්ලවයක් නොවේ. දැනුමට ප්‍රඥාවට එරෙහි එදා සිටි ප්‍රභූ පංතියටත් වඩා බියකරු පාදඩ පැලැන්තියක් අප රටේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික භූ දර්ශනය බූවල්ලකු සේ වෙලාගෙන තිබෙන අඳුරු යුගයකට අපි නැවතත් අවතිර්ණ වී සිටිමු. මේ අඳුරින් මිදීමට දෙවන කන්නන්ගර විප්ලවයක් මෙරට පොදු ජනතාව ඉල්ලා සිටියි.

කන්නන්ගර මැතිඳුන් එදා 43 දි දැල්වූ ප්‍රඥා ගිනි සිළුවෙන් මෙරට පොදු ජනයාගේ දූ පුතුන් ආලෝකය ලබාගත යුතු මොාහාත යළි එළඹෙමින් තිබේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept