මහනුවර ගංගාරාම විහාරස්ථානයට යාම සඳහා මහනුවරින් පෞද්ගලික බස් රියකට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමකට තර්ජනය කර අපහාසාත්මකව බැණුවැදී පහරදීමට තැත් කිරිම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත මහනුවර සිට දිගන බලා ධාවනය වූ පෞද්ගලික බස් රියක තරුණ රියැදුරකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.
බස් රියට ගොඩ වූ භික්ෂූන් වහන්සේට පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්කර තිබූ අසුනේ වාඩිවීමට නොහැකි වන සේ තරුණියන් දෙදනකු එම අසුනේ වාඩි වී සිටි අවස්ථාවේ භික්ෂුන් වහන්සේට බස් රියෙන් බසින ලෙස බැණ අපහාසාත්මක තර්ජනයක් එල්ල කළ රියැදුරාට එරෙහිව අස්ගිරිය විහාර පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමක් කරන ලද පැමිණිල්ලක් මත මහනුවර පොලිස් මූලස්ථානය මගින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. අබේකෝන් බණ්ඩා මහතා කළ විමසීමක දී කියා සිටියා.
මෙම සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද භික්ෂුන් වහන්සේ විසින් කරන ලද පැමිණිල්ල මත සිද්ධියට අදාළ පෞද්ගලික බස් රියේ ධාවන ගමන් වාර ද අවලංගු කිරීමට පියවර ගත් බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරි අනුරුද්ධ ගල්පොත්තේගෙදර මහතා පවසනවා.
සැකකාර රියැදුරාගේ තර්ජනයට ලක් වූ භික්ෂුන් වහන්සේ විදේශ ධර්ම ධූත මෙහෙවර සඳහා වැඩි දුර අධ්‍යාපනය හදාරන හිමි නමක් බව ද පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.
කෙන්ගල්ලේ බලගොල්ලේ පදිංචි දිගන – මහනුවර පෞද්ගලික බස් රියේ රියැදුරුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි මහනුවර පොලිසිය කියා සිටියේ.