Business is booming.

ලයිසන් අරන් සම්භාහනය සිදු කළ ස්ථානයක කළ අනවසර වැඩේ පොලිසියට කොටු

0 221

ආයුර්වේද සම්බාහන ස්ථානයක් මුවාවෙන් ගනේමුල්ල සමගි මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයකු සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා දූෂණ මර්දන ඒකකය පවසනවා. 

පොලිසිය පැවසුවේ අදාළ සම්බාහන මධ්‍යස්ථානය ලියාපදිංචියද ලබා ඇති බවයි. එම ස්ථානයේ දේශීය පාරම්පරික වෛද්‍යවරයකුද සිටින අතර එම ස්ථානයද නීත්‍යානුකූල සම්භාහන ස්ථානයක් සතුව තිබිය යුතු කරුණු සම්පූර්ණ කරමින් පවත්වාගෙන ගියද එහි අභ්‍යන්තරයේ ගණිකා ජාවාරම සිදු කෙරුණු බවයි. 

උපාය දූතයෙකු යොදවා පොලිසිය කළ සොයා බැලීමකදී මේ කරුණු හෙළි වී තිබෙනවා. 

ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අදාළ සම්භාහන ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී එහි ගණිකා සේවයේ නිරත වූ බවට සැක කරන කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එසේම එම ස්ථානයේ සිටි දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයාද අත්අඩංගුවට ගෙන ඇති අතර ආයතනයේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියාද අත්අඩංගුවට ගත් බවයි පෑලියගොඩ දිසා දූෂණ මර්දන අංශය පවසන්නේ. 

එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා කියා සිටියේ අදාළ සම්භාහන මධ්‍යස්ථානය ඇතැම් අවස්ථාවලදී පොලිසිය පරීක්ෂාවට ලක් කිරීමේදී එය නීත්‍යානුකූල ලෙස පවත්වාගෙන යන ස්ථානයක් ලෙසට කළමනාකාරීත්වය විසින් ඒත්තු ගන්වමින් ඒ අනුව කටයුතු කර ඇති බවත් කෙසේ වෙතත් එහි අභ්‍යන්තරයේ ගණිකා ජාවාරම සිදු කර ඇති බවත්ය. 

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රතනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

Comments
Loading...