Business is booming.

කප් සිටුවීම යනු කුමක්ද ?

තෙරුණි ද සිල්වා

0 257

මෙවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05 රාත්‍රියේ ඇරඹීමට නියමිතයි.

2019 අගෝස්තු 02වන කිවි දින පෙ.ව. 05 පසුවී විනාඩි 10 ට උතුරු දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට තබන ලද " පණස " වෘක්ෂයේ ශාකාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියළු විහාර , දේවාලයන්හි පුර්වාභිමත්ව මෙවර ඇසළ කප සිටුවයි. ඕනෑම නගර රජ මාලිගා ගොඩ නැංවීම හෝ විශේෂ අවස්ථාවක නොඑසේ නම් පෙරහැර පටන් ගැනීම ආදිය ආරම්භයේදී මෙලෙස ආරම්භක චාරිත්‍රයක් ලෙස කපක් සිටුවීම සිදු කරයි. කපක් යනු මුල් කණුවකි. මෙය සිටුවීම තුළින් බලාපොරොත්තු වනුයේ ආරම්භ කිරීමට යන සුභ කටයුත්ත කිසිදු අතුරු ආන්තරාවකින් තොරව සාර්ථක අයුරින් කරගෙන යාමට හැකි වීමත් එහි නියුතු වූවන්ට වස් දොස්වලින් බේරීමත්ය.

මෙම කප නොඑසේ නම් කණුව කපා ගැනීමේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර විදි අනුගමනය කළයුතු පිළිවෙත් පිළිබඳව මයිමතය යන සංස්කෘත පද්‍ය ග්‍රන්ථයේ සිංහල අනුවාදය වන මායාමතය නම් පද්‍ය ග්‍රන්ථයේ සඳහන් වේ. එහි සඳහන් ආකාරයට මගුල් කප කපා ගැනීමේ ක්‍රියාවලිය වෘක්ෂ වන්දනාව මූලික කොටගත ඉපැරණි අදහස්වලට අනුගත වන ක්‍රියාවලියක් ලෙස හැගී යනු ඇත.

කිරි ගසක අත්තක් කප ලෙස කපා ගනු ලබයි. ගෙඩි නොපලගත් කොස් ගසකින් මෙම කප කපා ගැනීම අතීතයේ පටන්ම පැවත එන චාරිත්‍රයකි. එය මේ වන තුරුත් පැවත එනු ලබයි. කිරි අත්තක් කැපීම, කිරි ගසක් කපා කිරි දැකීම, කිරි ඉතිරවීම, කිරි යන පදය සශ්‍රීකත්වය සංකේතවත් කරයි. එබැවින් කප කිරි ගසකින් කපා ගැනීමද සශ්‍රීකත්වය විදහා දැක්වීමක් ලෙස සිතිය හැකිය.

මහනුවර චාරිත්‍ර විදි වලදී මෙම කප කපනු ලබන්නේ විෂ්ණු දේවාලයේ වන්නකුරාල හෙවත් ගස් කපන්නා විසිනි. අතීතයේ මොහු විසින් තෝරාගත් එක් ගසකින් කපා මාළිගාවට හා සතර දේවාලයන්ට ලබා දුන්නද මේ වන විට එම චාරිත්‍රය අභාවයට ගොස් ඇති අතර මේ වන විට ඒ ඒ දේවාල වලින් වත් පිළිවෙත් පුරමින් තමන්ගේම හෝ නොවන ගසකින් අත්තක් කපා ගනු ලබයි.

මෙලෙස වත් පිළිවෙත් අනුකූලව කපා ගන්නා කප සිටුවීමෙන් දළදා මංගල්‍යය ඇරඹේ. නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන සතර දේවාලයන්හිද දේවාල භූමි තුළ කප් සතර සිටුවීමෙන් චාරිත්‍රානුකූලව  පෙරහැර කටයුතු ආරම්භ කරයි.මෙහිදී  “කප් සිටුවිමේ” චාරිත්‍රයේ මූලික කටයුතු කෙරෙන්නේ අතීත සිරිත අනුවම මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භුමියෙනි. මෙලෙස ඇරඹෙන ඇසළ උත්සවය හා ගසට පොත්ත මෙන් බැදී සිටින කප පෙරහැර අවසන් වන තුරුම එසේම තිබෙන්නට හරින අතර කප උගුල්ලන්නේද පෙරහැර මංගල්‍යය අවසන් බව දැන්වීමටය. කප ඇහැළ ගස ලෙසද ව්‍යවහාරයේ පැවත එයි.

කප සිටුවීමෙන් පසු එළඹෙන දින 05ක් ඇතුලේ පෙරහැර පැවැත්වේ. මෙලෙස ඇතුලේ පෙරහැර ලෙස හඳුන්වන්නේ කප වටා දින 05ක්  දේවාල පෙරහැර පවත්වනු ලබන චාරිත්‍රයයි. මෙලෙස පෙරහැර පැවැත්වීමෙන් පසුව කුඹල් පෙරහැර 05ක් හා රන්දෝලි පෙරහැර 05ක් පැවැත්වේ. අවසන් මහ පෙරහැර පැවැත්වෙන රාත්‍රී අලුයම දිය කැපීම සදහා ගැටඹේ තොට වෙත ඒ ඒ දේවාලයන්හි කප් පෙරහැර සමඟ ගෙනවිත් දිය කැපීමට පෙර දියට දමනු ලැබේ.

මෙලෙස කප ගඟට දැමීමෙන් පසු මිනිසුන් ගඟේ පාවෙමින් යන කප අල්ලා ගනිමින් එය තම කුඹූරේ හෝ වගා භූමි වලල සිටුවීමෙන් සශ්‍රීකත්වය බලාපොරොත්තු වේ.

ආශ්‍රිත ග්‍රන්ථ  – සිරි දළදාවරුණ සහ වෙනත් ලිපි 

Comments
Loading...