ඇල්ල ප්‍රාදේශීය සභා සභාපති සොයා පොලිස් මෙහෙයුමක්.

0
11

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ  ස්ථානභාර නිලධාරිවරයාට  බැණ තර්ජනය කර පහරදි ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්ල පොලිසිය  පවසනවා.

පහරදීමට ලක්වූ බව කියන ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයේ සේවකයෙක් වන ඉන්දික සෙනෙවිරත්න මහතා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකාර සභාපතිවරයා තවත් පිරිසක් සමග ඊයේ (3) දා දවල් 11.30ට පමණ මෙම සචාරක තොරතුර මධ්‍යස්ථානයට කඩාවැදි එම පරිශ්‍රෙය්   කොටසක  යතුරු ඉල්ලූ බවත්  එය තමන් ළඟ නොමැති බව පැවසූවිට  කණට පහරදුන් බවත්  එහි තිබූ       දැව භාණ්ඩ පැහැරගෙන ගිය බවත් සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා.

ඕස්ට්‍රෙලියාවේ ෂන්සයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නොයෙල් ස්කොට් මහතාගේ අනග්‍රහයෙන්  ඌව, පළාත් සංචාරක අමාත්‍යාංශය හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය  එක්ව මෙම ස්ථානයේ ස්ථාපිත කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය මේ මස 5 වනදා විවෘත කිරීමට නියමිතව තිබූ අතර  ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ එම මහාචාර්යවරයා  ශ්‍රී ලංකාවට පැමිණ ඇල්ලේ නතරවී සිටින බවත් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ  හදවලපිටිය මහතා කියා සිටියා.

පහරදීමට පැමිණි අය එම උත්සවය සදහා සූදානම් කර තිබූ ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයට අයත් මේස 2ක් හා පුටු 7ක් ලොරියක පටවාගෙන ගොස් ඇති බවද උත්සව කටයුතු සූදානම් කර මින් සිටි ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ සේවිකාවන්ට බැණ තර්ජනය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය. .

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන්  6 දෙනෙක් ඊයේ (3) දා සවස අත්අඩංගුවට ගත් බවත් පැහැරගෙන ගිය ලී බඩු සහ ඊට උපයෝගි කරගත් ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් ලොරි රථයද පොලිසිය බාරයට ගත් බවත් ඇල්ල පොලිසිය  පවසනවා. පහරදීම සිදුකළ බව කියන සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවද ඇල්ල පොලිසිය  සඳහන් කළේය

 බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එම් .එම්. කේ .අලගියවන්න මහතාගේ මෙහෙයවීමෙන් ඇල්ල පොලිසිය පරීක්ෂණ  පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here