අඛණ්ඩව සිව්වැනිවරටත් ඉන්ධන මිල පහළට

0
21

පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් පහළ දමන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.  

ඒ අනුව රුපියල් 125ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වා පහළ යනවා. එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 සිට රුපියල් 147 දක්වා පහළ දැමෙනවා.

එසේම ඔටෝ ඩීසල් මිලද රුපියල් 101 සිට 99 දක්වා රුපියල් දෙකකින් පහළ දමා තිබෙනවා. කෙසේ වෙතත් රුපියල් 121ක්ව පැවති සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 118 දක්වා රුපියල් තුනකින් පහළ දමා තිබෙනවා. 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් සංශෝධනය සිදු කළ බවයි. 
කෙසේ වෙතත් රජය පවසන්නේ මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉන්ධන මිල වැඩවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

සිංගප්පූරුවේ බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් වෙළෙඳ පොලේ නිමි පෙට්‍රල් සඳහා වන මිල ගණන්ද පසුගිය දෙසතියක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතින බවයි රජය වැඩිදුරටත් පවසන්නේ. 

අද දිනයේ සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව අඛණ්ඩව සිව්වැනි වතාවටයි මෙලෙස ඉන්ධන මිල පහළ යන්නේ. 

තෙල් මිල අවසන් වරට වැඩි කළ 2018 ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් වූවා. 

එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබුණා.

2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇති බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසන්නේ. 

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 133ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 131ක් දක්වාත් රුපියල් 152ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 150 දක්වා පහළ දැමෙනවා.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99කටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 118කටත් අලෙවි කරන බවයි ඉන්දියන් ඔයිල් සමාගම පවසන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here